ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Wednesday, February 16, 2011

රජරට වෛද්‍ය සිසුන්ගේ ඉරණම

     රජරට වෛද්‍ය පීඨය 2006-09-04 දින ගරු ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් හා සහභාගීත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වූ අතර එහිදී පළමු ශිෂ්‍ය කණ්ඩායමේ සිසුන් සැම හට එවකට උසස් අධ්‍යාපන අමාත්‍යව සිටි සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා ප‍්‍රකාශ කර සිටියේ සාලියපුර පරිශ‍්‍රයේ සියළු පහසුකම් වලින් යුක්ත බවත් එහිදී අප හට බෙදා දුන් පොතෙහි (Booklet) පහසුකම් වල ඡායා රූප දක්වා තිබිණි. එහි සඳහන් වූයේ ”වෛද්‍ය පීඨය” රජරට විශ්වවිද්‍යාලය ලෙසය. (Faculty of medicine) නමුත් 2006-09-11 දින නිල වශයෙන් වෛද්‍ය පීඨය ආරම්භ කළ විට ඔවුන් පෙන්වූ සුරපුරය සාලියපුර නොමැති බව අපහට සක්සුදත් සේ පැහැදිලි විය. මන්දයත් අපහට එකම දේශන ශාලාවක් ලැබුණු අතර එය අපගේ ආපන ශාලාව, පුස්තකාලය ද විය. පුදුමය වූයේ එම සතිය තුලම වෛද්‍ය පීඨය (Faculty of medicine) වෛද්‍ය හා සමාන්තර විද්‍යා පීඨය ලෙස (Faculty of medicine and allied sciences) ලෙස දින 07 තුළ වෙනස් වී තිබීමය.

සිසුන්ගේ අධ්‍යාපන කටයුතු 07-01-01 දින ආරම්භ කිරීමට සිදුවූයේ අවශ්‍ය කිසිදු විද්‍යාගාර පහසුකමක් නොමැතිව වූ අතර තිබූ එකම කායවිච්‍‍ඡේදන ඒකකය (Anatomy department/ dissection theater) පහසුකම් වලින් ඉතා පහත් වූ අතර සිසුන් අසනීප වූ වාර අනත්තය. පහසුකම් මදකමින් පළමු මාස දෙක අවසානයේ වසා දැමුණු පීඨය යලිත් විවෘත කළේ මාස තුනකට පසුවය. ඒ වන විට අවශ්‍ය පහසුකම් සම්පූර්ණ වී තිබිණි. එම නිසා ගැටළුවක් නොමැතිව පළමු වන හා දෙවන වසර අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කර ගත හැකි විය.නැවත අර්බුධය මතු වූයේ පළමු ශිෂ්‍ය කණ්ඩායම හට 2009-01-12 දින තුන්වන වසර ආරම්භ කිරීමත් සමගය. එහිදී අවශ්‍ය කිසිදු විද්‍යාගාර පහසුකමක් නොමැති වූ අතර දේශන ශාලා හිඟය නිසා දේශන පැවැත්වූයේ අනුරාධපුර නගරයේ සම්බුද්ධ ජයන්ති විහාරයේදීය. සිසුන්ගේ තුන්වන වසර අධ්‍යාපන කටයුතු කරගෙන යාමට සිදුවූයේ ප‍්‍රායෝගික පරීක්‍ෂණ නියමිත කාලයට වසා මාස 6 ක් පමණ ප‍්‍රමාද වී වූ අතර අවශ්‍ය දේශන ශාලා සහ විද්‍යාගාර සම්පූර්ණ වූයේ සිසුන්ගේ අරගල වල ප‍්‍රතිඵලයක් ලෙසයි.

     දැන් නැවතත් ගැටළුවක් නිර්මාණය වූයේ පළමු ශිෂ්‍ය කණ්ඩායමේ අවසන් වසර 2010-12-13 දින ආරම්භ වීමත් සමගය. එය සායනික දෙපාර්තමේන්තු 04 යටතේ එනම් කායික රෝග (Medicine), ශල්‍ය රෝග (Surgery), ළමා රෝග (Pediatric) සහ ප‍්‍රසව හා නාරි අංශය (Gynecology and Obstetrics) යන අංශ රම්භ කිරීමට නියමිත වූවත් සිසුන්ගේ දේශන පවත්වා ගෙන යනු ලබන්නේ කායික රෝග හා ප‍්‍රසව හා නාරි අංශයයෙන් පමණි. මෙයට හේතුව නම් ‍ජේෂ්ඨ ආචාර්යවරුන් සිටිනුයේ එම දෙපාර්තමේන්තුවල පමණක් වීමයි. අවසන් වසර මහාචාර්ය සායනික පුහුණුව ලබන මැයි මස ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා මහාචාර්ය ඒකකයක් අත්‍යවශ්‍ය වන අතර එයින් ලබා දෙන සායනික පුහුණුව පරිපූර්ණ වෛද්‍යවරයකු වීමට අත්‍යවශ්‍ය වන අතර එය වෛද්‍ය ශිෂ්‍යයකු වෛද්‍යවරයකු ලෙස ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ලබා දෙන ලියාපදංචියට අනිවාර්යය. මහාචාර්ය ඒකකය ඉහත සඳහන් කළ අංශ 4 කින් සමන් විත වන අතර එහි සිසුන්ට දේශන පැවැත්විමට, සායනික පුහුණු ලබාදීමට රෝගීන් පරීක්‍ෂාකිරීම ආදී වගකීම් ඇත්තේ මහාචාර්යවරු, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු ලෙස වෛද්‍ය පීඨයට බැදුණු විශේෂඥ වෛද්‍යවරුන්ය. රජරට වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය 2011 වර්ෂයේ මැයි මාසය අත්‍යවශ්‍ය සඳහා ගොඩනැගිල්ලේ වැඩ ආරම්භ වූයේ 2010 ජනවාරි 13 වන අතර එය මහල් 6 කින් යුක්ත අතර ඇස්තමේන්තු මුදල රු. මිලියන 1500 ට ආසන්නය. මහාචාර්ය ඒකකය තවමත් ඇත්තේ සිමෙන්ති බදාම තත්වයේ ඉදි කෙරෙමින්ය. එය  දනැට තිබෙන තත්ත්වය අනුව අපට හැගෙන ආකාරයට නම් මෙම ගොඩනැගිල්ල ලබන මැයි මාසයට කලින් ලබා ගැනීම සිහිනයකි. අනෙක් කරුණු නම් සායනික දෙපාර්තමේන්තුවල දැනට එකදු දෙපාර්තමේන්තුවකවත් මහාචාර්යවරුන් නොමැති අතර දැනට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු සිටිනුයේ කායික රෝග හා නාරි හා ප‍්‍රසව අශයේ පමණි. එම ආචාර්යවරුන්ගේ තත්වය යටතේ සායනික පුහුණුව කිසිලෙසකවත් ආරම්භ කළ නොහැක.

     මෙම මාහාචාර්ය ඒකකයේ ගැටලූව සම්බන්ධයෙන් අප වෛද්‍ය පීඨයේ පළමු ශිෂ්‍ය කණ්ඩායම තුන්වන වසර වෛද්‍ය ශිෂ්‍යන් ලෙස සිටියදී සියලූම නිලධාරීන් දැනුවත් කොට මේ පිළිබඳව කොතරම් ඉල්ලීම් කළත් ඔවුන් එය ගණනකට ගත්තේ වත් නැත. අප කළ ඉල්ලීම් බීරි අලින්ට විණා වාදනය කළා සේ විය.

     ආචාර්යවරුන්ගේ හිඟයට ප‍්‍රධාන හේතුව නම් මාහාචාර්ය සායනික වාට්ටු නොමැති වීමයි. මෙම හේතුව නිසා පීඨයේ අවිනිශ්චිත භාවයට පත්වී ඇත. එම නිසා විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාතා්‍යංශයෙන් ඉවත් වී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් ලෙස වෛද්‍ය පීඨයට බැදීමට මැලිකමක් දක්වයි. අනෙක් හේතුව නම් මෙහි පැමිණෙන ආචාර්යවරුන් සඳහා නේවාසික පහසුකම් නොමැති අතර ඒ සඳහා ප‍්‍රමාණවත් දීමනාවක් මේ වන විටත් පීඨයෙන් ලබා නෙදෙන නිසා සම්මුඛ පරීක්‍ෂණ සඳහා පැමිණෙන ආචාර්යවරු පීඨයට පැමිණීම ප‍්‍රතික්ෂේප කරයි. 

     මේ පිළිබඳව දැනට උසස් අධ්‍යාපන ඇමත්‍යවරයා සමඟද සාකච්ඡා වට දෙකක් පැවැත්වූ අතර 2010 සැප්තැම්බර් මස 13 වන දින පවත්වන ලද සාකච්ඡුාවේදී අප හට පොරොන්දු වූයේ ආචාර්යවරු හිඟයට විසඳුමක් ලෙස මෙම පීඨයට පැමිණෙන ආචාර්යවරුන්ට රු. 20,000 ත් 30,000 ත් අතර අමතර දීමනාවක් ලබා දීමට ය. තවද අපහට පොරොන්දු වූයේ මහාචාර්ය ඒකකය සඳහා අවශ්‍ය මිලියන 250 ක මුදල සෞඛ්‍ය අමාත්‍යාංශය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව කැබිනට් අනුමැතිය සඳහා යොමු කරන බවත්, සෞඛ්‍යය අමාත්‍යාංශය සමඟ එක්ව හෙද හෙදියන් සහ නේවාසික වෛද්‍යවරුන් බඳවා ගන්නා බවත් එය එතරම් ගැටළුවක් නොවන බවත්ය. එසේ පොරොන්දු වූ කිසිවක් මේවන විටත් සිදුවී නොමැති බව අප දන්නෙමු. ඒවා අමු අමුවේම ලබාදුන් දේශපාලන පොරොන්දු බව මේ වන විටත් අප දන්නෙමු. මෙම තත්වය යටතේ ගොඩනැගිල්ල ලැබුණද මහාචාර්ය ඒකකයේ සායනික පුහුණුව කිසි ලෙසකින් ආරම්භ කළ නොහැකි බව සක්සුදත් සේ පැහැදිලිය.

     රජරට වෛද්‍ය පීඨයේ පළමු ශිෂ්‍ය කණ්ඩායමට සමකාලීන එනම් 2005 උසස් පෙළ ශිෂ්‍යයන් ලෙස වෛද්‍ය පීඨට වලට බැදුණු කොළඹ, ජයවර්ධනපුර, රුහුණ, රාගම යන වෛද්‍ය පීඨ වල මහාචාර්ය සායනික පුහුණුව මේවන විටත් ආරම්භ කර ඇති අතර තවමත් ආරම්භ කර නොමැත්තේ පේරාදෙණිය හා යාපනය යන වෛද්‍ය පීඨවල පමණි. නමුත් ඔවුන්ගේ මහාචාර්ය සායනික පුහුණුව මෙම වසරේ මාර්තු සහ අපේ‍්‍රල් ආරම්භ කිරීමට නියමිත අතර මහාචාර්ය ඒකක ගොඩනැගිල්ල සහ ආචාර්යවරු සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලවලට කිසුදු ගැටළුවක් නොමැති නිසා සායනික පුහුණුව නියමිත කාල වලදී ආරම්භ කළ හැක. 

     වෛද්‍ය ශිෂ්‍යයන් ඔවුන්ගේ අවසන් වසර අවසානයේ දී පොදු බහුවරණ (Common MCQ) පරීක්‍ෂණයට මුහුණ දියයුතු අතර එම පරීක්‍ෂණ අවසානයේ සිසුන් ශ්‍රේණිගත කරන අතර එහි ප‍්‍රතිඵල අනුව සීමා වාසික පත්වීම් ලබා දේ. දැනට සායනික පුහුණුව ආරම්භ කළ ඇති වෛද්‍ය පීඨ වල වෛද්‍ය ශිෂ්‍යයන් 2011 වර්ෂයේ පැවැත්වෙන පොදු බහුවරණ පරීක්‍ෂණයට මුහුණ දීමට නියමිතය. යාපනය හා පේරාදෙනිය විශ්ව විද්‍යාලවල වෛද්‍ය ශිෂ්‍යයන් දැනට විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව මඟින් දන්වා ඇති ආකාරයට  2012 වර්ෂයේ මැයි මස මුල් සතියේ පැවැත්වෙන පොදු බහුවරණ පරික්‍ෂණයට මුහුණදීමට නියමිතය. 

     රජරට වෛද්‍ය පීඨයට මෙම පරීක්‍ෂණය මුහුණ දීමට නම් ලබන මැයි මස අග වන විට සායනික පුහුණුව ආරම්භ කිරීම අත්‍යවශ්‍ය වේ. එසේ නොමැති වුව හොත් රජරට වෛද්‍ය පීඨය වෛද්‍ය ශිෂ්‍යයන් හට 2013 වර්ෂයේ සීමාවාසික පත්වීම් ලබාදීමට නොහැකිවන අතර එවිට ඔවුන් අනෙකුත් වෛද්‍ය පීඨවල සමකාලිනයන්ට වඩා අවුරුද්දකින් පසුපසට යාමක් සිදුවේ. එනම් පළමු ශිෂ්‍ය කණ්ඩායම අධ්‍යාපන කටයුතු වසර ප‍්‍රමාදවේ. එවිට ඔවුන් වසර පහක වෛද්‍ය උපාධිය වෙනුවෙන් අවුරුදු හතක පමණ ආසන්න කාලයක් කැපකිරීමට සිදුවේ. 

     මහාචාර්යය සායනික පුහුණුව සඳහා කිසිම විටක එකවර ශිෂ්‍ය කණ්ඩායම් දෙකකට සිදු කළ නොහැකි අතර එම තත්ත්වය යටතේ රජරට වෛද්‍ය පීඨයේ සිටින සියලූම ශිෂ්‍ය කණ්ඩායම් සඳහා බලපාන අතර දැනට සිටින සහ ඉදිරියේ දී බදවා ගන්නා සියලූ ම වෛද්‍ය ශිෂ්‍යයන් අනෙකුත් වෛද්‍ය පීඨවල සමකාලීනයන් ට වඩා වසරකින් පසු පසට යන අතරල, ඔවුන්ට ද පළමු ශිෂ්‍ය කණ්ඩායමට මෙන් ම වෛද්‍ය උපාධිය වෙනුවෙන් වසර හතක් ගත කිරීමට සිදු වේ.  මෙය මහත් අසාධාරණයක් වන අතර ශිෂ්‍ය  සඳහාසඳහා මහ පොළ වාරික 50 ක් ලබා දෙන අතර වසර පහ අවසානයේද එය අවසන් වන අතර ඉතිර කාලය සඳහා අසරණ සිසුන් සඳහා කිසිදු පිළිසරණක්ද නොමැත.

     කටමැත දොඩවමින් ක්‍ෂිතිජයෙන් එහා ලෝකයට සරසවි සිසුවා ගෙන යාමට උත්සාහ දරන උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී දිසානායක මහතාට මෙම ප‍්‍රශ්නය ගැටළුවක් ලෙස නොපෙනීම පුදුමයකි.  O.R. යන්ත‍්‍රයට මල් තියා වැඳීමට යැයි රජරට සිසුන්ට පැවසූ තවමත් ගල්යුගයේ ජීවත්වන විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති වැන්නන්ටද, තමන්ගේ ගම් ප‍්‍රදේශයේ පවතින රජරට වෛද්‍ය පීඨයේ ගැටළුව අමතකවී ඇත විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඉහළ මට්ටමක ගෙන යාමට ආණ්ඩුව කටමැත දෙඩවුව ද මහින්ද චින්තනය යටතේ ආරම්භ කළ එකම වෛද්‍ය පීඨය පවත්වා ගෙනයාමට නොහැකිව ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය සහ සරසවිගැන කථා කිරීම විහිළුවකි.

     මෙවැනි තීරණාත්මක මොහොතක වෛද්‍ය ශිෂ්‍යයන් ලෙස අප සිත් වල ඇති මානසික පීඩනය අති මහත්ය. ශිෂ්‍ය සංගමය ලෙස පීඨ පරිපාලනය සමඟත් සාකච්ඡා කළද ඔවුනුත් මෙම ගැටලූව හමුවේ අසරණ භාවයට පත් වී ඇති අතර ඔවුන්ට මේ සදහා කිසිදු විසදුමක් ඉදිරිපත් කර නැත. මෙයට සම්බන්ධ සියලූ බලධාරීන් දැනුවත් කළ ද ඔවුන් මෙය ගණන් ගන්නේ වත් නැත. මෙම ගැටළුව හැකි ඉක්මනින් ස්ථිර විසඳුමක් කරා ගෙන නොගියහොත්, රජරට වෛද්‍ය පීඨ ශිෂ්‍යයන් ලෙස ඉතා දැඩි ක්‍රියාමාරග වලට යාමට සිදුවන අතර, එමෙන්ම අපවෙත එල්ලකරනු ලබන බාදාකිරීම හා තර්ජන වලටද, පොදුවේ විශ්ව විද්‍යාලවලට සිදුකරනු ලබන ශිෂ්‍ය මර්ධනයට අප කිසිලෙසකින් බිය නොවන අතර අපගේ අයිතීන් ආරක්‍ෂා කර ගැනීමට  ඕනෑම ආකාරයේ ශිෂ්‍ය ක‍්‍රියා මාර්ගයක් ගැනීමට අප පසුබට නොවන්නෙමු.


ඒ.ඞී.පී. බණ්ඩාර
රජරට වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය

1 comment:

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි