ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Tuesday, April 24, 2012

රොසින් එපා මේ දේවල් කරන්නට මැසින් මොටද දොස්‌තරලා හදන්නට!

     සිදුවීම් පෙළ ගැසී ඇත්තේ ඉතාමත් ලැඡ්ජා සහගත අයුරිනි. ඒ සිද්ධිදාමය දෙස බලා දෑස්‌ විශාල කොට විමතිය පළ කිරීමක්‌ හෝ නොමැති වටපිටාවක්‌ නිර්මාණය වී තිබේ. රුපියල් ලක්‍ෂ ගණනක්‌ ලන්සුවට තබා කරන සෙල්ලමක්‌ හමුවේ දෑස්‌ පනා පිට දිග හැරෙමින් පවතින්නේ කෙතරම් ඛේදනීය තත්ත්වයක්‌ දැයි අවබෝධ කර ගන්නා ලෙස ඇරයුම් කරමින් මේ සටහන තබමු.

     රුපියල් දශ ලක්‍ෂ 29.6 ක්‌ එනම් රුපියල් ලක්‍ෂ 296 ක්‌ දඩ වශයෙන් ගෙවීමට යම් ආයතනයකට සිදු වුවහොත් උද්ගත විය හැකි තත්ත්වය කුමක්‌ද? සාමාන්‍ය ආයතනයක්‌ එවන් දඩයකට ලක්‌ වූයේ නම් නියත වශයෙන්ම ආයතන හිමිකරු තම ආයතනයේ දොරට පමණක්‌ නොව ගේට්‌ටුවට ද ඉබි යතුරු දමා ඉවත්ව යනු ඇත.

     එහෙත් දකුණු ආසියානු තාක්‍ෂණ හා වෛද්‍ය විද්‍යා ආයතනයට (SAITM) නම් රුපියල් මිලියන ගණනක දඩයක්‌ යනු අතිශය සාමාන්‍ය කාරණාවකි. SAITM ආයතනය හෙවත් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රුපියල් මිලියන ගණන් දඩ කමින් මේ දත කන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වෛද්‍යවරුන් නිෂ්පාදනය කිරීමටය. ඒ නිෂ්පාදනයේ ප්‍රමිතිය පිළිබඳ ආයතනයට කිසිදු ගැටලුවක්‌ නැත. ආයතනයට අවශ්‍ය වන්නේ භාණ්‌ඩ නිෂ්පාදනය කර කඩිමුඩියේ වෙළෙඳපොළට දැමීමටය. කෙතරම් තදියම් වුවද කෙතරම් ප්‍රමිතියෙන් තොර වුවද ආයතනය ආරම්භ කර මේ දක්‌වා කිසිදු නිෂ්පාදනයක අවසානයක්‌ දකින්නට මෙතෙක්‌ හැකි වී නැත. වෛද්‍යවරුන් නිපදවීමේ කාර්යය ප්‍රමිතියෙන් තොර යෑයි අප කීවේ මීට බොහෝ කලකට පෙරය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගන්නා උසස්‌ පෙළ අවම සුදුසුකම් හෝ නොමැති සිසුන්ද SAITM හි වෛද්‍ය උපාධිය හදාරන බව රහසක්‌ නොවේ. මෙම වෛද්‍ය විද්‍යාලය පිළිබඳ කරුණු අධ්‍යයනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කරන ලද අප පංච පුද්ගල කමිටුවද ඒ බව තහවුරු කළේය. වසර හතරක වෛද්‍ය උපාධියට රුපියල් ලක්‍ෂ හැටපහක හැත්තෑවක මිලක්‌ නියම කර අලෙවි කෙරෙන මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට රුපියල් දශ ලක්‍ෂ 29.6 ක පමණ දඩයකට යටත් වීමට සිදු වූයේ ඇයි? කලින් වාර කිහිපයකදීම අප සඳහන් කළ පරිදිම ප්‍රමිතියෙන් තොර නිෂ්පාදනයක්‌ සඳහා උත්සුක වීම හැර පවතින නීතියට හෝ ප්‍රමිතියකට අනුව කටයුතු කිරීමේ අවශ්‍යතාවක්‌ ආයතනයට ඇතැයි අපි විශ්වාස නොකරමු. ඊට කදිම උදාහරණ කිහිපයක්‌ම SAITM ආයතනය රටට පෙන්වා දී තිබේ. ආයතනය සම්පූර්ණයෙන්ම විදේශීය ආයතනයක්‌ බව සිය වෙබ් අඩවියේ පළ කර පසුව ප්‍රසිද්ධියේ රට හමුවේ ප්‍රකාශ කළේ එය සම්පූර්ණයෙන්ම දේශීය ආයතනයක්‌ බවය. වෛද්‍ය උපාධිය පිරිනැමීම සඳහා අවසර නොදී ඇති තත්ත්වයක්‌ තුළ ඒ සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලැබී ඇතැයි SAITM ආයතනය ප්‍රකාශ කළේ කිසිදු චකිතයකින් තොරවය. ආයතනයට බඳවා ගෙන සිටින සිසුන්ගේ සායනික පුහුණු කටයුතු සඳහා රජයේ රෝහල් ලබා ගැනීමට ගත් සෑම උත්සාහයක්‌ම අසාර්ථක වූ කල පෞද්ගලික රෝහල්වල සායනික පුහුණුව සඳහා අවශ්‍ය පහසුකම් සපයන බවට ආයතනය සිසුන්ට පොරොන්දු විය. එහෙත් එයද වාචික පොරොන්දුවකට පමණක්‌ සීමා වෙමින් සායනික පුහුණුවේ බලාපොරොත්තුව සිසුන්ගෙන් තව තවත් දුරස්‌ වූවා මිස පිළියමක්‌ නොලැබිණි. ඊට පිළියම් සොයන්නට ආයතනය තදියම් වූයේ ඉන් පසුවය. රුපියල් දශ ලක්‍ෂ ගණනක දඩයකට යටත් වන්නට SAITM ආයතනයට සිදු වූයේ ඒ තදියම හා නීතියට අනුගතව කටයුතු කිරීමට අවශ්‍යතාවක්‌ නොමැති නිසාය. සිසුන්ගේ සායනික පුහුණුව සඳහා අති නවීන අංගෝපාංගයන්ගෙන් යුත් ඇඳන් දහසක රෝහලක්‌ ඉදි කරන බව ආයතනය ප්‍රසිද්ධ කළේ ලංකාවේ සුපිරිම රෝහල එය වන බවට උදම් අනමිනි. එහෙත් රෝහල ඉදි කිරීම ආරම්භ කර තිබුණේ කිසිදු අවසරයකින් තොරවය. එතරම් සුවිශාල ව්‍යාපෘතියක්‌ ආරම්භයේදීම එතරම් සුවිශාල දඩයකට යටත් වීමට සිදු වූයේ පවතින නීතියට පටහැනිව ආයතනය කටයුතු කිරීම නිසාය. SAITM ආයතනයෙන් රුපියල් ලක්‍ෂ 296 ක දඩයක්‌ අය කර ගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගත්තේ ඒ අනුවය. ඒම දඩය අය කිරීමෙන් පසුව රෝහලේ ඉදිකිරීම් සඳහා මූලික අනුමැතියක්‌ නාගරික සංවර්ධන අධිකාරිය එම ආයතනයට ලබා දී තිබේ. එම අනුමැතිය ලබා දී තිබෙන්නේද සපුරාගත යුතු කොන්දේසි දහනවයකට යටත්වය. මධ්‍යම පරිසර අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලය, විදුලිබල මණ්‌ඩලය මෙන්ම කඩුවෙල නගර සභාව, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය යන ආයතනවල අනුමැතිය ලබා ගැනීම එම කොන්දේසි අතර වෙයි. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ මෙම රෝහල ඉදි කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය ලබා නොගැනීමය.  

       පෞද්ගලික රෝහලක්‌ ඉදි කිරීම සඳහා පවතින නීතිමය තත්ත්වයන්ට අනුව අවසර ලබා ගත යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයාගෙනි. එහෙත් මේ සටහන තබන මොහොත වන විටත් විශාල රෝහලක්‌ ඉදි කිරීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු අවසරයක්‌ ලබා ගැනීමට SAITM ආයතනය කටයුතු කර නැත. ඒ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කාන්ති ආරියරත්න මහත්මිය සාක්‍ෂි දරයි. රෝහලක්‌ ඉදිකිරීමේදී අන් සියලු ආයතනයන්හි අවසරය ලබා ගැනීමට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතියට අදාළ ව්‍යාපෘතිය ඉදිරිපත් කර අනුමත කර ගැනීම අත්‍යවශ්‍ය බව අපි විශ්වාස කරමු. මූලික අනුමැතියක්‌ ලබා දුන්නද අවසාන අනුමැතිය ලබා දීමට නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය ඒ සඳහා ලැබිය යුතු බව නාගරික සංවර්ධන අධිකාරියද පවසයි. එසේ නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය නොලැබී ඇති තත්ත්වයක්‌ තුළ නාගරික සංවර්ධන අධිකාරියේ අවසාන අනුමැතියද රෝහල ඉදි කිරීම සඳහා නොලැබෙන බව පැහැදිලිය. ව්‍යාපෘතියට අදාළ යෝජනාවක්‌ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කර හෝ රෝහලක්‌ ඉදි කිරීමට අදාළ ඉල්ලීමක්‌ හෝ අමාත්‍යාංශයට ලැබී නැතැයි පෞද්ගලික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරිය පවසන්නේ ඉතාමත් වගකීමෙනි. 

       ඇඳන් දහසක රෝහලක්‌ ඉදිකිරීම කෙසේ වෙතත් දකුණු ආසියානු තාක්‍ෂණ හා වෛද්‍ය විද්‍යා ආයතනය වෛද්‍ය මධ්‍යස්‌ථානයක්‌ ලියා පදිංචි කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට අයදුම්පතක්‌ ඉදිරිපත් කර තිබේ. ආයතනයේ සභාපතිවරයා ලෙස වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති එම අයදුම්පතට අනුව මාලබේ, මිලේනියම් ඩ්‍රයිව්, සුහද මාවතේ අංක 60 දරන ස්‌ථානයේ ලියාපදිංචිය සඳහා ඉල්ලා ඇත්තේ වෛද්‍ය මධ්‍යස්‌ථානයකටය. ඊට අයත් වන්නේ වෛද්‍යවරුන් හමු විය හැකි කාමර පමණි. විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකුගේ නම් ද එම අයදුම්පතට ඇතුළත් කර ඇති අතර විශේෂම කරුණ නම් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අයදුම්පත ඉදිරිපත් කර ඇතත් පෞද්ගලික තොරතුරු ලෙස අයදුම්පතට ඇතුළත් කර ඇත්තේ වෛද්‍ය මොහාන් කුමාර් ජයතිලක නමැත්තෙකුගේ විස්‌තරය. එසේ විය හැක්‌කේ කෙසේද යන්න ගැටලුවකි. 

       SAITM ආයතනය හා බැඳුණු තවත් සුවිශේෂී කරුණක්‌ සඳහන් කළ යුතුය. එනම් ඉහතින් සඳහන් කළ ලිපිනයේ වෛද්‍ය මධ්‍යස්‌ථානයක්‌ ලියා පදිංචි කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට අයදුම්පතක්‌ ඉදිරිපත් කරන සභාපතිවරයා එම ලිපිනයම සඳහන් කරමින් නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ඉල්ලා ඇත්තේ ශික්‍ෂණ රෝහලක්‌ ඉදිකිරීම සඳහාය. වෛද්‍ය මධ්‍යස්‌ථානයක්‌ ශීක්‍ෂණ රෝහලක්‌ බවට පරිවර්තනය වන්නේද නැතහොත් ශීක්‍ෂණ රෝහල වෛද්‍ය මධ්‍යස්‌ථානයක්‌ බවට පරිවර්තනය වන්නේ ද යන්න ගැන සත්‍ය තත්ත්වය ජනතාවට ඉදිරිපත් කිරීම බලධාරීන්ට පවරමු.  

       අවසන් අනුමැතිය නොලැබී ඇති කල්හි නාගරික සංවර්ධන අධිකාරියේ අවසරය ලැබී ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂකගේ අනුමැතිය නොලැබී ඇති කල්හි සෞඛ්‍ය ඇමැතිතුමන්ගේ අවසරය ලැබී ඇතැයි ද පවසන්නේ එකම ලිපිනයක වෛද්‍ය මධ්‍යස්‌ථානයක්‌ ලියාපදිංචි කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අවසර ඉල්ලා එම ලිපිනයේම රෝහලක්‌ ඉදිකිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියෙන් අනුමැතිය පතන SAITM ආයතනයමය. වෛද්‍ය උපාධිය සඳහා ශිෂ්‍ය කණ්‌ඩායම් බඳවා ගැනීමේ සිට මේ දක්‌වා මෙවැනි "කොළේ වසා ගැසීම්" අප්‍රමාණයකි. මාලබේ වෛද්‍ය උපාධියේ ප්‍රමිතිය පිළිබඳ එදා සිටම හඬනගන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම කියා සිටියේ SAITM ආයතනය වසා දැමිය යුතු බවය. රටට ජීවකයන් තනන ආයතනයක්‌ ප්‍රමිතියකින් තොරව මුදල් පසුපස හඹා යැමේ ආදීනව අවසානයේ විඳීමට සිදුවන්නේ ජනතාවට බව අමතක නොකළ යුතුය. වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධව ඉදිකෙරෙන රෝහලට විරුද්ධවද මේ වන විට රජයේ වෛද්‍යවරුන් පනස්‌දෙනකුට අධික පිරිසක්‌ පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතාට පැමිණිලි කර ඇත. රජයේ වෛද්‍යවරුන් විසින් කරනු ලබන පැමිණිල්ලක්‌ සුළුකොට තැකිය නොහේ. ඔවුන් එම පැමිණිලි කර ඇත්තේද කරුණු කාරණා ඇතිව විය යුතුය. 
      උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙනුවෙන් කවදත් පෙනී සිටියේය. එහි ප්‍රමිතිය නීතියට අනුගතද, නැද්ද යන කරුණු ඇමැතිවරයාගේ විෂයපථයට අයත් නැත. අවම සුදුසුකම් පවා නොමැති සිසුන් වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයාට ගැටලුවක්‌ නොවේ. දිසානායක මහතා විසින් පසුගියදා කරන ලද ප්‍රකාශයක්‌ නිසා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට යළිත් මාලබේ ගැන සිය මතය ප්‍රකාශ කරන්නට සිදුවිය. දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ SAITM ආයතනය උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක්‌ ලෙස පිළිගෙන ඇත්තේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ද අනුදැනුම මත බවය. එම ප්‍රකාශයට ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්‌වූ වෛද්‍ය සභාව සියලුම අවශ්‍යතා සපුරන තෙක්‌ උපාධි ප්‍රදානය කිරීමේ බලතල SAITM ආයතනයට නොදිය යුතු යෑයි කලින් ප්‍රකාශ කළ බව සඳහන් කර සිටියේය. නියමිත නිසි අනුමැතියවත් ලබාගැනීමට නොහැකිව ඇති රෝහල ද වෛද්‍ය සභාවේ සියලු අවශ්‍යතා අතර මූලික වෙයි. එම රෝහල ඉදිකර ක්‍රියාත්මක වන තෙක්‌ වෛද්‍ය පාඨමාලාවට සිසුන් ඇතුළත් කිරීම නතර කළ යුතු බවට කලින් කළ නිර්දේශය ද වෛද්‍ය සභාව උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයාට සිහිපත් කර දී තිබේ. 

       මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයත් ඒ වෙනුවෙන් ඉදිකෙරෙන ශික්‍ෂණ රෝහලත් ආශ්‍රිතව මේ සා ගැටලු ප්‍රමාණයක්‌ භ්‍රමණය වෙමින් තිබේ. ආයතනය ආරම්භ කර සිව් වසරකින් පසුවද ගම්‍ය වන්නේ අවිනිශ්චිත වාතාවරණයකි. මේ දක්‌වා වූ බොහෝ සිදුවීම්ද නීතියට අනුගත නොවන්නා සේම ප්‍රමිතියෙන් ද බොහෝ දුරස්‌ය. ලැජ්ජාසහගත සිද්ධිදාමයක්‌ යෑයි ඉහතින් සඳහන් කළේ එහෙයිනි. විදේශ වෛද්‍ය විද්‍යාල සඳහා දරුවන් යොමුවීම වළක්‌වා රටට මෙම මුදල් ඉතිරි කරදීම මාලබේ ව්‍යාපෘතියේ අරමුණ බව ඇතැම්හු පවසති. එහෙත් වෛද්‍ය මධ්‍යස්‌ථානයක්‌ සඳහා ලියාපදිංචිය ඉල්ලා ශික්‍ෂණ රෝහලක්‌ ඉදිකිරීමේ අරමුණ කුමක්‌දැයි අපට නම් අපැහැදිලිය.
නිලන්ත මදුරාවල (දිවයින - 2012/04/22)

No comments:

Post a Comment

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි